ඉන්දීය සිනමාවේ සුපිරි නළු තලපති විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්රි කලගම්’ (TVK) පක්ෂය, තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ආසන 108ක් ජයග්‍රහණය කරමින් ප්‍රාන්තයේ ප්‍රධානතම පක්ෂය ලෙස පෙරමුණට පැමිණ තිබේ. මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව, මෙතෙක් බලයේ සිටි එම්. කේ. ස්ටාලින්ගේ DMK පක්ෂයට හිමිව ඇත්තේ ආසන 59ක් පමණක් වන අතර ADMK පක්ෂය ආසන 47කට සීමා වී ඇත. දශක කිහිපයක් තිස්සේ ප්‍රධාන පක්ෂ දෙකක් අතර දෝලනය වූ තමිල්නාඩු බලය මේ අනුව නව මාවතකට අවතීර්ණ වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.ප්‍රාන්ත සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා ආසන 118ක සරල බහුතරයක් අවශ්‍ය වුවද, විජේගේ පක්ෂයට එම ඉලක්කය සපුරා ගැනීමට තවත් ආසන 10ක හිඟයක් පවතී. මේ හේතුවෙන් ස්වාධීන මන්ත්‍රීවරුන් සහ සෙසු කුඩා පක්ෂ සමඟ එක්ව සභාග රජයක් පිහිටුවීම සඳහා TVK පක්ෂය මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ජෝසප් විජේ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සිය සුබපැතුම් එක් කර තිබීම විශේෂත්වයකි. සිය නිල X ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, පළමු මැතිවරණයේදීම TVK පක්ෂය පෙන්නුම් කළ මෙම සුවිශේෂී දස්කම් අගය කරන බවයි. මෝදි මහතාගේ මෙම ප්‍රසාදය පළ කිරීම දකුණු ඉන්දීය දේශපාලනය තුළ නව කතාබහක් නිර්මාණය කිරීමට ද හේතු වී තිබේ.වසර ගණනාවක් තිස්සේ තමිල්නාඩු දේශපාලනයේ පැවති සම්ප්‍රදායික බල අරගලය බිඳ දමමින්, සිනමා ලෝකයෙන් පැමිණි විජේ ලබාගත් මෙම ජයග්‍රහණය ඉන්දියාව පුරා දැඩි අවධානයට ලක්ව ඇත. තරුණ ජනයාගේ සහ රසිකයින්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් විජේ, ඉදිරි කාලයේදී ප්‍රාන්තයේ මහජන සුබසාධනය උදෙසා කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති. දැන් තමිල්නාඩුවේ සියලු දෙනා බලා සිටින්නේ විජේ ප්‍රමුඛ නව රජය නිල වශයෙන් පිහිටුවන ආකාරය පිළිබඳවයි.

























