ත්‍රිකුණාමලය වරාය ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි අෂ්රොෆ් නැව් තටාකාංගණ ජැටියේ තුන් පසම ආවරණය වන පරිදි එකවර නෞකා තුනක මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ. මෙම සුවිශේෂී වාණිජ මෙහෙයුම් මාලාව තුළින් වරාය අධිකාරියට රුපියල් මිලියන 300 කට අධික ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ. වරාය ඉතිහාසයට අලුත් පිටුවක් එක් කළ මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් වරාය අධිකාරියේ කළමනාකරු සරත් කුමාර මහතා තහවුරු කළේ, මෙලෙස එකම අවස්ථාවක නෞකා තුනක් මෙහෙයවූ පළමු අවස්ථාව මෙය බවයි.දැනට ජැටියේ සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු යටතේ, ‘AAL BANGKOK’ නෞකාව මඟින් මන්නාරම සුළං විදුලි බලාගාරයට අවශ්‍ය සුළං විදුලි ටවර් 05 ක් ගොඩබෑම එක් වේදිකාවක සිදුකරයි. ඊට සමගාමීව ඩුබායි සිට ප්‍රති-අපනයනය සඳහා මෙරටට රැගෙන ආ ඉදිකිරීම් යකඩ කම්බි ටොන් 17,000 ක් ‘HAI LONG 1’ නෞකාව මඟින් ජැටියේ තවත් වේදිකාවක මෙහෙයවනු ලබයි.මීට අමතරව, දේශීය සිමෙන්ති සමාගමක් වෙනුවෙන් ඉන්දුනීසියාවේ සිට රැගෙන එන ලද ගල් අඟුරු ටොන් 55,000 ක් ‘UNIWELL’ නෞකාව මඟින් අෂ්රොෆ් ජැටියේ ඉතිරි කොටසේදී ගොඩබාමින් පවතී. මෙම දැවැන්ත භාණ්ඩ ප්‍රමාණයන් එකම කාලසීමාවක් තුළ කාර්යක්ෂමව මෙහෙයවීමට වරාය සේවකයින් කටයුතු කර තිබීම විශේෂත්වයකි.



























