1997 වසරේ සැප්තැම්බර් මස කොළඹ, තාරාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී විත්තිකරුවන් හත් දෙනෙකු අධිකරණයේ පෙනී සිටි අතර, අනෙක් විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා ඇත.මේ අතර, මහාභාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් සතු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙම මූල්‍ය අපරාධය පිළිබඳ විමර්ශන සඳහා විදේශීය රටවල් පහකින් තොරතුරු ඉල්ලා ඇති බව ද විමර්ශන නිලධාරීහු එහිදී සඳහන් කළහ.මෙම හැකර් ප්‍රහාරයට අදාළ නඩු භාණ්ඩ විශ්ලේෂණය කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික අංශය වෙත පවරා ඇති නමුත්, ඊට අදාළ වාර්තා මෙතෙක් අධිකරණයට ලැබී නොමැති බව ප්‍රකාශ විය. ඒ අනුව, ඉදිරි නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා අදාළ නඩු කටයුත්ත එළඹෙන අගෝස්තු මස 5 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේය.























