සර්වජන බලය නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී එරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් කිහිපදෙනෙකු සමඟ පැවැත්වූ නිල සාකච්ඡාවක තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ. ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී එරට පාර්ලිමේන්තු මන්ත්‍රී එවන් මුල්හොලන්ඩ් (Evan Mulholland) සහ බටහිර වික්ටෝරියා කලාපයේ විපක්ෂ නායිකාව ලෙස කටයුතු කරන බෙවර්ලි මැක්ආතර් (Beverley McArthur) යන මහත්ම මහත්මීන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි.මෙම සාකච්ඡාවලදී ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන් වඩාත් සූක්ෂ්ම මට්ටමින් වෙනස් වී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු වූ බවත්, එහිදී හුවමාරු වූ අදහස් සැබවින්ම දිරිගන්වන සුලු වූ බවත් ඔහු පවසා ඇත. එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ ක්‍රමවේදයන්ගෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආදර්ශයන් මෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය අත්දැකීම්වලින් ඔවුන්ට දායක කරගත හැකි බොහෝ කරුණු ඇති බවද ජයවීර මහතා පෙන්වා දී තිබේ. මෙම නිල හමුව පුරා තමන් වෙත දැක්වූ ආගන්තුක සත්කාරය සහ සුහදශීලීත්වය වෙනුවෙන් ඒ මහතා එම ඕස්ට්‍රේලියානු නායකයින්ට සහ ඔවුන්ගේ කණ්ඩායම් වෙත සිය කෘතඥතාව ද පළ කර ඇත.



























