පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිවයින පුරා පිහිටි ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වන විට වාන් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (13) පෙරවරු 6.00 වන විට වාර්තා වූ දත්තයන්ට අනුව, අනුරාධපුර, බදුල්ල, හම්බන්තොට, කුරුණෑගල, මහනුවර, මොනරාගල සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම උපරිම සීමාව පසු කර තිබේ. රාජාංගනය, ලුණුගම්වෙහෙර, දැදුරුඔය සහ යෝධ වැව ඇතුළු වැව් රැසක් මෙලෙස වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂක එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා තහවුරු කළේය.ජලාශවල ආරක්ෂාව උදෙසා වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇත. විශේෂයෙන් රාජාංගනය ජලාශයේ දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 14,000ක ජල කඳක් කලා ඔයට මුදා හැරෙන අතර, ලුණුගම්වෙහෙර සහ වෙහෙරගල ජලාශවලින් පිළිවෙළින් කිරිඳි ඔය සහ මැණික් ගඟ වෙත විශාල ජල ප්‍රමාණයක් නිකුත් කෙරේ. මීට අමතරව අඹෙවෙල, මවුආර, තිස්ස වැව, වීරවිල සහ මාගල්ල වැනි ජලාශ ද මේ වන විටත් වාන් දමමින් පවතී.මේ හේතුවෙන් අදාළ ගංගා නිම්නවල පහත්බිම්වල පදිංචි ජනතාව සහ ගංගා පරිහරණය කරන පිරිස් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගෙන පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත්, නිල නිවේදන කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

























