දිවයින පුරා ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා විශේෂ ජාතික වැඩසටහනක් දියත් කර තිබේ. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ, ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ඩෙංගු මර්දන සැලසුම් සකස් කිරීමට සියලුම ප්‍රජා සංවර්ධන සභා (CDC) දැනටමත් පියවර ගෙන ඇත. මෙම කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කාර්යාල මගින් ලබා දී ඇත.​මෙම ක්‍රියාන්විතය ජූනි 26 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, ප්‍රජා සංවර්ධන සභා සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ග්‍රාම නිලධාරි වසම් තුළ ක්ෂේත්‍ර මට්ටමින් වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නියමිතය. මෙහිදී පාසල්, පෙර පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම සඳහා ප්‍රමුඛතාවය හිමිවන අතර, ස්වේච්ඡා කණ්ඩායම්වල සහය ඇතිව ශ්‍රමදාන සංවිධානය කෙරේ. තවද, මාර්ග දෙපස පිරිසිදු කිරීම, ජලය එකතු වන අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීම සහ ඉදිකිරීම් භූමි පිරිසිදු කිරීම මගින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගැනේ.​පෞද්ගලික නිවාස සහ ගෙවතු පිරිසිදු කිරීම පිළිබඳව ද ජනතාව දැඩි ලෙස දැනුවත් කෙරෙන අතර, නිවෙස්වල මදුරුවන් බෝවිය හැකි භාජන, ටයර් සහ වැහිපිළි වැනි ස්ථාන පරීක්ෂා කිරීම සඳහා සතියකට අවම වශයෙන් මිනිත්තු 30ක් වෙන් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. අධි-අවදානම් කලාපවලට ප්‍රමුඛතාවය දෙමින් සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව අත්පත්‍රිකා බෙදා හැරීම සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට කටයුතු යොදා ඇත.​මෙම ජාතික මෙහෙයුමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා, අදාළ වැඩසටහන්වල ඡායාරූප [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලෙස දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ. ප්‍රජා සංවර්ධන සභාවල මසකට වරක් සිදු කෙරෙන අනිවාර්ය ක්‍රියාකාරකමක් ලෙස මෙම ඩෙංගු මර්දන කටයුත්ත සැලකේ. රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා දියත් කර ඇති මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සමස්ත මහජනතාවගේ උපරිම සහයෝගය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,201

Leave A Reply

Your email address will not be published. Required fields are marked *