ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධියට පත් තැඹිලි (Ceylon King Coconut) අපනයන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින්, දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පොල් වගාකිරීමේ මණ්ඩලයේ මැදිහත්වීමෙන්, කුරුණෑගල මහයාය වතු පරිශ්‍රයේදී මෙම වැඩසටහනට මුලපිරීය.මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර තුනක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ අනුව 2026 වසරේදී ගම්මාන 75ක්ද, 2027 දී ගම්මාන 80ක්ද සහ 2028 දී තවත් ගම්මාන 95ක්ද වශයෙන් ගම්මාන 250ක් ස්ථාපිත කෙරේ. මෙහි මූලික පියවරක් ලෙස 2026 වසර සඳහා රුපියල් මිලියන 405ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, ගොවීන් උනන්දු කරවීම සඳහා ගසකට රුපියල් 700ක මූල්‍ය සහනාධාරයක් මෙන්ම රුපියල් 150ක සහන මිලකට තැඹිලි පැළ ලබාදීමද සිදුකෙරේ.ව්‍යාපෘතිය යටතේ නව තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීමටත්, පවතින ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත්, සෑම ගම්මානයකම කුඩා ප්‍රමාණයේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් සැලසුම් කර ඇත. 2030 වන විට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් වැඩිකර ගනිමින්, තැඹිලි අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ඉක්මවා යාම මෙම ජාතික වැඩසටහනේ අවසාන ඉලක්කයයි.


























