දිවයින ආසන්නයේ පවතින අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් හෙටින් (06) පසු වර්ෂාපතනයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙහි මූලික අවධියක් ලෙස අද (05) පස්වරු 2.00 න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැක.වර්ෂාවට අමතරව දිවයිනේ උතුරු, උතුරු-මැද සහ හම්බන්තොට ප්‍රදේශවල පැයට කිලෝමීටර 40 දක්වා වන තද සුළං තත්ත්වයක් විටින් විට වර්ධනය විය හැකි බව නිරීක්ෂණය වේ. එසේම මධ්‍යම, ඌව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් රියදුරන් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු වෙරළබඩ කලාපවලට අද උදෑසන කාලයේදී ද වැසි ඇති වීමේ හැකියාව පවතින බව වාර්තා වේ.ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව බලධාරීන් අවධාරණය කරයි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එළිමහන් කටයුතුවලදී සහ විදුලි උපකරණ භාවිතයේදී වඩාත් ආරක්ෂිත වන ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. විශේෂයෙන් ගිගුරුම් සහිත කාලගුණයක් පවතින විට ගස් යට රැඳී සිටීමෙන් වැළකී සිටීමට කටයුතු කරන්න.

























