දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුකාරී වාතාවරණයට සාර්ථක විසඳුමක් ලබා දී තිබේ. ඒ අනුව, පසුගිය වසරේ පෙරහැරට එක්වූ කාවඩි නර්තන කණ්ඩායම් 45 ටම මෙවරත් කිසිදු බාධාවකින් තොරව පෙරහැර සඳහා සහභාගි වීමට අවස්ථාව උදා වී ඇත.පෙරහැරේ විනය හා ආරක්ෂක තත්ත්වය පිළිබඳ පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්තාවන් හේතුවෙන් කාවඩි නර්තන අංග තාවකාලිකව ඉවත් කිරීමට මුලින් පොලිසිය නිර්දේශ කර තිබුණි. එහෙත්, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී සියලු පාර්ශ්වයන් අතර ඇති වූ එකඟතාව මත මෙම සම්ප්‍රදායික නර්තනාංගය පෙරහැරට ඇතුළත් කිරීමට අවසානයේ තීරණය විය.මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරී පිරිසක්ද සහභාගි වී සිටියහ.

























