දේශීයව නිෂ්පාදිත FDG භාවිතයෙන් PET ස්කෑන් පරීක්ෂණ මෙරටදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් ආයතනය එක්ව මෙරට තුළ නිෂ්පාදනය කළ ෆ්ලූරෝඩියොක්සිග්ලූකෝස් (FDG) ඖෂධය යොදා ගනිමින් PET ස්කෑන් පරීක්ෂණ නිල වශයෙන් ආරම්භ කෙරිණි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රෝහල් පරිශ්‍රයේදී මෙම වැඩසටහන ආරම්භ වූ අතර, එමගින් මෙතෙක් විදේශයන්ගෙන් ආනයනය කළ ඖෂධ සඳහා වැය වූ විශාල විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීමට හැකි වේ.​මීට පෙර ඉන්දියාවෙන් මෙම ඖෂධය ආනයනය කිරීමේදී එහි පවතින සීමිත අර්ධ ආයු කාලය හේතුවෙන් පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීම සහ අධික පිරිවැයක් දැරීමට සිදුවීම වැනි ප්‍රායෝගික ගැටලු පැන නැගුණි. දේශීය නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමඟ එම බාධක මගහැරෙන අතර, ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර ඇති PET ස්කෑන් යන්ත්‍ර උපයෝගී කරගනිමින් රෝගීන්ට වඩාත් වේගවත් හා අඛණ්ඩ සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.​මෙම ව්‍යාපෘතිය යටතේ ජාතික රෝහලේ ස්කෑන් පරීක්ෂණ ධාරිතාව සතියකට දින තුනක් දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් දැනට සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව හතර ගුණයකින් පමණ ඉහළ යනු ඇත. ජාතික මට්ටමේ මෙම වැදගත් සෞඛ්‍ය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රෝහල් පරිපාලනය, පරමාණුක ශක්ති අධිකාරිය සහ ඇක්සස් සමූහ ව්‍යාපාරයේ නියෝජිතයන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව කටයුතු කරති.

What's your reaction?

Related Posts

1 of 1,217

Leave A Reply

Your email address will not be published. Required fields are marked *