දේශීය වෛද්‍ය උපාධිධාරීන් 402කට සීමාවාසික පත්වීම් හිමිවෙයි

මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 402 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (28) කොළඹදී සිදුකෙරුණි. කොළඹ විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. මෙලෙස පත්වීම් ලැබූ පිරිස අතර ආයුර්වේද අංශයේ උපාධිධාරීන් 249ක්, සිද්ධ අංශයේ 109ක් සහ යුනානි අංශයේ 44 දෙනෙකු ඇතුළත් වේ.​මෙම වෛද්‍යවරුන් කොළඹ, ගම්පහ වික්‍රමාරච්චි, යාපනය සහ නැගෙනහිර යන විශ්වවිද්‍යාලවල දේශීය වෛද්‍ය පීඨයන්හි පස් අවුරුදු අධ්‍යයන පාඨමාලා සාර්ථකව නිම කළ 2017/2018 අධ්‍යයන වර්ෂවලට අයත් පිරිසකි. පත්වීම් ලැබූ නවක වෛද්‍යවරුන් ඉදිරි වසරක කාලය පුරා ශික්ෂණ රෝහල්, ආයුර්වේද පර්යේෂණායතන සහ පළාත් ආයුර්වේද රෝහල් කේන්ද්‍ර කරගනිමින් සිය සීමාවාසික පුහුණුව ලබා ගැනීමට නියමිතව ඇත.​පුහුණු කාලසීමාව තුළදී මොවුන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ පළමු ශ්‍රේණියේ නේවාසික වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට නියමිතය. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම පත්වීම් ප්‍රදානය හරහා මෙරට පොදුජන සෞඛ්‍ය සේවාවට අලුතින් දේශීය වෛද්‍යවරුන් පිරිසක් එක්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

What's your reaction?

Related Posts

1 of 1,118

Leave A Reply

Your email address will not be published. Required fields are marked *