නැගෙනහිර සංවර්ධනය සහ ජනතා සුබසාධනය වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් විශේෂ දිස්ත්‍රික් සංචාරයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි සතියේදී නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් විශේෂ නිල සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මැයි 20 සහ 22 යන දිනවල මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු මෙන්ම ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය නිරීක්ෂණය කිරීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ. රාජ්‍ය නිලධාරීන් හමුවී ප්‍රදේශයේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් කිහිපයකට ද මෙහිදී මුල්තැනක් හිමිවනු ඇත.​මෙම සංචාරයේ පළමු අදියර මැයි 20 වනදා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන අතර, එදින පූර්ව භාගයේදී පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව වෙබර් ක්‍රීඩාංගණයේ සංවිධානය කර ඇති, සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම අරමුණු කරගත් “රටම එකට” ජාතික වැඩසටහනට ද ජනාධිපතිවරයා සක්‍රියව දායක වීමට නියමිතව ඇත.​සංචාරයේ දෙවන අදියර ලෙස මැයි 22 වනදා අම්පාර දිස්ත්‍රික්කය වෙත ළඟාවන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ප්‍රදේශයේ යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් ක්‍රියාත්මක නව ව්‍යාපෘති කිහිපයකට මුල්ගල් තැබීමට නියමිතය. ඒ අනුව නින්දවුර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සහ අම්පාර නගරයේ ඉදිවන නව වෙළෙඳ සංකීර්ණ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන නිල සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා සිය නැගෙනහිර සංචාරය නිමා කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *