ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර නිල හමුවක් පසුගිය 23 වනදා පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගත් මෙම සාකච්ඡාව ඉතා සුහද මට්ටමින් පවත්වා තිබේ.දැඩි ආර්ථික අර්බුදයකින් පසුව වුවද, ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් සාර්ථකව පැවැත්වීමට ශ්‍රී ලංකාව සමත්වීම පිළිබඳව තානාපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය. එසේම යටත්විජිත සමයේදී මෙරටින් රැගෙන ගිය පුරාවස්තු යළි ලංකාවට ලබාදීමේ ක්‍රියාවලිය සහ ඒ සඳහා මෙරට විශේෂඥයින් ලබාදෙන දායකත්වය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශවය දීර්ඝව අදහස් හුවමාරු කර ගත්හ. විශේෂයෙන්ම වංචා හා දූෂණ වැළැක්වීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා වී ඇත.ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති උපායමාර්ගික වැදගත්කම හරහා අත්කර ගත හැකි ආර්ථික වාසි සහ ඒ ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමු විය. ඓතිහාසික සබඳතා මත පදනම්ව ඉදිරියේදී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳව නියෝජිතයන් සුබවාදී අදහස් පළ කළහ.

























