පරිසර අමාත්‍යාංශයෙන් මහජනතාව සඳහා නිල WhatsApp සේවාවක්

පාරිසරික පද්ධතීන් සුරක්ෂිත කිරීම සහ පරිපාලනමය සන්නිවේදනය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මහජනතාවට සෘජුවම පරිසර අමාත්‍යාංශය හා සම්බන්ධ විය හැකි නව නිල WhatsApp සේවාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 070 250 950 9 යන දුරකථන අංකය ඔස්සේ සාමාන්‍ය පුරවැසියන්ට තමන් මුහුණ දෙන පාරිසරික ගැටලු, නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා කිරීම් මෙන්ම පාරිසරික සංරක්ෂණයට අදාළ යෝජනා සහ අදහස් ලිපි ගොනු (Message only) වශයෙන් අමාත්‍යාංශය වෙත සෘජුවම යොමු කිරීමේ අවස්ථාව හිමිවේ.​“තිරසර ජෛව ගෝලයක් සදාහරිත ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ හරහා පාරිසරික ගැටලුවලට කඩිනම් සහ විද්‍යාත්මක විසඳුම් ලබාදීම අපේක්ෂා කෙරේ. මෙහිදී කරුණු තහවුරු කරගැනීම පහසු කරනු වස්, මහජනතාව ඉදිරිපත් කරන පණිවිඩ සමඟ ඊට අදාළ සාක්ෂි සහිත ලිපිලේඛන, ඡායාරූප හෝ නිල වාර්තා ද ඇතුළත් කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අමාත්‍යාංශය දැනුම් දෙයි.​පරිසර සංරක්ෂණය යනු හුදෙක් රාජ්‍ය ආයතනවලට පමණක් සීමා වූවක් නොව, සක්‍රීය මහජන සහභාගීත්වය මත සිදුවිය යුත්තක් බව පෙන්වා දෙන පරිසර අමාත්‍යාංශය, මෙම තාක්ෂණික ප්‍රවේශය හරහා රාජ්‍ය තන්ත්‍රය සහ පුරවැසියා අතර පවතින දුරස්ථභාවය අවම කිරීමට බලාපොරොත්තු වේ. වඩාත් විනිවිදභාවයකින් යුතු හරිතවත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ මෙම ජාතික මෙහෙවර සඳහා සාමූහිකව දායක වන ලෙස ද අමාත්‍යාංශය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *