ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සුළු ගංවතුර මට්ටමට

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සුළු ගංවතුර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ගතවූ පැය 24 තුළ ගිං සහ නිල්වලා ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 120ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, මාගුරු ගඟ, අත්තනගලු ඔය පහළ ප්‍රදේශ සහ කතරගම ආශ්‍රිතව මිලිමීටර් 100ක පමණ වැසි වාර්තා වී තිබේ.​මේ අනුව, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයත්, අත්තනගලු ඔයේ ගම්පහ සහ දූනමලේ ප්‍රදේශත් මේ වන විට සුළු ගංවතුර මට්ටමක පවතියි. එමෙන්ම නිල්වලා ගඟේ අකුරැස්ස ප්‍රදේශය සහ කළු ගඟේ මාගුරු හා මිල්ලකන්ද ප්‍රදේශ සුළු ගංවතුර මට්ටමට ආසන්න වී ඇති නමුත්, කැලණි ගඟේ සහ මහා ඔයේ ගංවතුර අවදානමක් මෙතෙක් මතුවී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය සඳහන් කරයි.​ඉදිරියේදී ඇතිවිය හැකි තද වැසි සමඟ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බැවින්, පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතියි. එබැවින් ගංගා සහ ඔයවල් ආශ්‍රිතව ජීවත් වන ජනතාව ජල මට්ටම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු දැනුම් දෙති.

What's your reaction?

Related Posts

1 of 1,419

Leave A Reply

Your email address will not be published. Required fields are marked *