ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි

දිවයිනට බලපා ඇති තද වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ. ජලාශවලට ගලා එන ජල ධාරිතාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඕනෑම මොහොතක වාන් දොරටු විවෘත කරන ප්‍රමාණයන් සංශෝධනය විය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා ප්‍රකාශ කරයි. පවතින කාලගුණික තත්ත්වය අනුව ජල පාලනය සඳහා ගත යුතු උපරිම පියවර මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.​මේ වන විට රාජාංගනය ජලාශයේ දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300ක ජල කඳක් කලා ඔයට මුදා හරින අතර, දැදුරු ඔය ජලාශයේ දොරටු 4කින් තත්ත්පරයකට ඝන අඩි 5,500ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරේ. මීට අමතරව ලුණුගම්වෙහෙර, වෙහෙරගල සහ අලිකොටආර යන ජලාශවල වාන් දොරටු ද විවෘත කර ඇති බැවින් කිරිඳිඔය සහ මැණික් ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතී. ජල පීඩනය කළමනාකරණය කිරීම සඳහා එම ජලාශවලින් සැලකිය යුතු ජල ධාරිතාවක් ගංගා පද්ධතීන් වෙත මුදා හැරීමට වාරිමාර්ග නිලධාරීන් කටයුතු කර තිබේ.​මෙම තත්ත්වය හමුවේ හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජලාශවලට පහළින් පදිංචි ජනතාව දැඩි අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි. විශේෂයෙන්ම ගංගා පරිශීලනය කරන පුද්ගලයින් හදිසි ජල ගැලීම් පිළිබඳව විමසිලිමත් විය යුතු අතර, ගංගා දෙපස වෙසෙන ජනතාවට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් කාලගුණික තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානය යොමු කරන ලෙසත් අවධාරණය කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,134

Leave A Reply

Your email address will not be published. Required fields are marked *