අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර, දිනකට නියමිත අත්‍යවශ්‍ය පාර්ලිමේන්තු කටයුතු සමඟින් මුල් පැය භාගය වෙන් කර ඇත්තේ ස්ථාවර නියෝග 22 (1 සිට 6 දක්වා) යටතේ වන කටයුතු සිදු කිරීමටයි.පෙරවරු 10.00 සිට ආරම්භ වන මන්ත්‍රී වාරයේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පැයක් ද, අනතුරුව පෙ.ව. 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න විමසීමට ද කාලය වෙන් කර ඇත. ඉන්පසුව පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනා විමසා බැලීමට සහ විවාදයට ගැනීමට නියමිතය.මෙම යෝජනා අතර ඛනිජ තෙල් සහ ජල කර්මාන්ත නියාමනය, දරු උපත් දිරිදැන්වීම්, දියගම වනාන්තරය ආරක්ෂා කිරීම, පරිවේණාචාර්ය විශ්‍රාම වැටුප් ගැටලු සහ කඳුකර වගා ප්‍රවර්ධනය වැනි වැදගත් මාතෘකා කිහිපයක්ම අඩංගු වේ. දවසේ අවසාන අර්ධය ලෙස පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.


























