දිවයින පුරා පාසල්වල පරිගණක, බහුමාධ්‍ය ප්‍රක්ෂේපක සහ සුහුරු පුවරු වැනි ඩිජිටල් උපකරණ නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට රජය පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළ අතර, මෙම කටයුතු වෙනුවෙන් කැපවන ගුරුවරුන්ගේ ගමන් වියදම් ගෙවීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන බව ද ඇය සඳහන් කළාය.පාසල් මට්ටමින් දෘඪාංග හා ජාලකරණ නඩත්තු කටයුතු සඳහා විශේෂ පුහුණුව ලත් ගුරු සංචිතයක් දැනටමත් ක්‍රියාත්මක වන අතර, උතුරු පළාතේ කලාප 13ක් සඳහා ගුරුවරුන් 76 දෙනෙක් යොදවා ඇත. පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස මෙම සංචිතය තවදුරටත් පුළුල් කරමින් 2026 ඔක්තෝබර් මාසයේදී තවත් පිරිසකට පුහුණුව ලබාදීමට නියමිතව ඇති අතර, ගුරුවරුන්ගේ ගමන් වියදම් හා දීමනා ගැටලුවලට විසඳුම් ලෙස නව ගෙවීම් ක්‍රමවේදයක් සඳහා අනුමැතිය ලබාගනිමින් පවතී.මීට අමතරව, ඩිජිටල් යටිතල පහසුකම් අලුත්වැඩියාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළාත් වෙත අමතර ප්‍රතිපාදන වෙන් කර ඇත. වගකීම් කාලය අවසන් වූ උපකරණ අවම මිල ගණන් යටතේ අලුත්වැඩියා කිරීමටත්, සිසුන් ද මෙම නඩත්තු කටයුතු සඳහා පළාත් මට්ටමින් පුහුණු කිරීමටත් කටයුතු යොදා ඇති අතර, අග්‍රාමාත්‍ය කාර්ය සාධන බලකාය සමඟ එක්ව ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් නඩත්තුව පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය ඉදිරියේදී පාසල් වෙත යැවීමට සැලසුම් කර තිබේ.



























