පාසල් පෙළපොත් මිලදී ගැනීම, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය වඩාත් විධිමත් කිරීම අරමුණු කරගනිමින් නව තාක්ෂණික ක්‍රමවේද රැසක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්යසාධනය මෙන්ම 2021 සහ 2024 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සමාලෝචනය කිරීම සඳහා මෑතකදී පැවැත්වුණු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (COPA) රැස්වීමේදී මෙම නව මුලපිරීම් පිළිබඳ තොරතුරු අනාවරණය විය.මෙහිදී නිලධාරීන් කාරක සභාවට පෙන්වා දුන්නේ, සිසුන් ඇතුළත් කර ගැනීම්, දැනට පවතින පෙළපොත් තොග සහ නැවත භාවිත කළ හැකි පෙළපොත් පිළිබඳ තොරතුරු සජීවීව (Real-time) ලබාගැනීම සඳහා 2024 වසරේ සිට නව පරිගණකගත දත්ත කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇති බවයි. මීට අමතරව පෙළපොත් අලෙවිසැල් ජාලගත කිරීම, පරිශීලක නාම සහ මුරපද (Username/Password) මඟින් පද්ධති ආරක්ෂාව තහවුරු කිරීම, ව්‍යුහගත ගුණාත්මකභාවය සහතික කිරීමේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම සහ කෘතිම බුද්ධි (AI) තාක්ෂණය ඔස්සේ ‘ඊ-තක්සලාව’ (e-Thaksalawa) වේදිකාව යාවත්කාලීන කිරීමේ කටයුතු ද අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත. මෙමඟින් සමස්ත පෙළපොත් සැපයුම් ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, මූල්‍ය අක්‍රමිකතා සහ දෝෂ අවම කිරීමටත් අපේක්ෂා කෙරේ.කෙසේ වෙතත්, පසුගිය වසරවල පෙළපොත් අවශ්‍යතා නිවැරදිව ඇස්තමේන්තු නොකිරීම හේතුවෙන් අතිරික්ත තොග ගොඩගැසීම සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම ඇතුළු දිගුකාලීන ගැටලු කිහිපයක් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන්ම, 2002 වසරේ පාසල් පෙළපොත් මුද්‍රණයට අදාළව සිදුවූ රුපියල් මිලියන 212කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවතින නමුත්, ඊට සම්බන්ධ මුද්‍රණ සමාගම හෝ එහි අධ්‍යක්ෂවරුන් සොයා ගැනීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති බව කාරක සභාවට දැනුම් දී ඇත. මේ වන විට එම සිදුවීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් පරීක්ෂණ පවත්වන අතර, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගෙන තිබේ. එමෙන්ම, 2006 වසරේදී නියමිත කාලය තුළ පෙළපොත් ලබා දීමට අපොහොසත් වූ මුද්‍රණ සමාගමකින් වන්දි අය කර ගැනීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම පිළිබඳව ද කෝපා කමිටුවේ විශේෂ අවධානය යොමු විය.



























