කථානායකවරයාගේ සහතිකය ලත් 2026 අංක 14 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මේ වන විට රජය විසින් නිල වශයෙන් ගැසට් කර තිබේ. මුල් පනත් කෙටුම්පත මඟින් වාර්ෂික වැට් ලියාපදිංචි සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා වී තිබුණ ද, සම්මත වූ නව පනත මඟින් එම වෙනස්කම සිදු කර නොමැත. ඒ අනුව මෙරට ව්‍යාපාර සඳහා අදාළ වන අනිවාර්ය වැට් ලියාපදිංචි සීමාව පෙර පරිදිම වාර්ෂිකව රුපියල් මිලියන 60 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.මෙම නව සංශෝධනවල පවතින සුවිශේෂීතම ලක්ෂණය වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් ද වැට් බදු දැලට හසුකර ගැනීමට ප්‍රතිපාදන සකසා තිබීමයි. මීට අදාළව KPMG ආයතනය සිදු කළ බදු විශ්ලේෂණයකට අනුව, ලංකාව තුළ සේවා සපයන Netflix, Google සහ Facebook වැනි විදේශීය ඩිජිටල් මාධ්‍ය, ස්ට්‍රීමිං සහ ක්ලවුඩ් සේවා, ඇප් ස්ටෝර්ස් මෙන්ම මෘදුකාංග සමාගම් ද මින් ඉදිරියට වැට් බදු සඳහා ලියාපදිංචි විය යුතු වෙයි.කෙසේ වෙතත්, මෙම විදේශීය ඩිජිටල් සමාගම් වැට් බදු සඳහා අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුත්තේ ඔවුන්ගේ සැපයුම් වටිනාකම මාස 12ක් තුළ රුපියල් මිලියන 60ක් හෝ එක් කාර්තුවක් තුළ රුපියල් මිලියන 15ක් ඉක්මවන්නේ නම් පමණි. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ දැනටමත් වැට් බදු සඳහා ලියාපදිංචි වී ඇති දේශීය ව්‍යාපාර වෙත සපයනු ලබන විදේශීය ඩිජිටල් සේවා (B2B ගනුදෙනු) මෙම නව වැට් බදු අය කිරීමෙන් නිදහස් කර ඇති බව ද එම විශ්ලේෂණයේ සඳහන් වේ.



























