24 වැනි වරටත් සංවිධානය කෙරෙන DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග අද (14) සහ හෙට (15) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රටපුරා කණ්ඩායම් 2500කට අධික සංඛ්‍යාවක් එක් වූ මෙම තරගාවලියේ අවසන් තරග 10කින් සමන්විත අදියරේදී අද අවුරුදු 11, 13 සහ 15න් පහළ බාලක බාලිකා තරගත්, හෙට අවුරුදු 17 සහ 19න් පහළ බාලක බාලිකා තරගත් පැවැත්වීමට නියමිතය.මෙවර තරගාවලියේදී නාත්තණ්ඩිය ධම්මිස්සර විදුහල අවසන් තරග 4කට සුදුසුකම් ලබා සිටින අතර, නාත්තණ්ඩිය ජනාධිපති විද්‍යාලය, හුංගම විජයබා ජාතික පාසල සහ මාරවිල සාන්ත සේවියර් විදුහල කණ්ඩායම් දෙක බැගින් අවසන් තරග සඳහා ඉදිරිපත් කරයි. කෙසේ වෙතත් පසුගිය වසරේ ශූරතා දෙකක් දිනූ රුවන්වැල්ල රාජසිංහ විදුහලට මෙවර අවසන් වටයට පිවිසීමට නොහැකි විය.අද පැවැත්වෙන තරග නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එක්වීමට නියමිත අතර, සමාප්ති උළෙල සහ ජය සංකේත ප්රදානය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ පාසල් වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන්ද සහභාගී වීමට නියමිතය.



























