ජාතික මුල් ළමාවිය විෂයමාලා රාමුව ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ, පෙරපාසල් ප්‍රධාන පුහුණුකරුවන් පුහුණු කිරීමේ ජාතික සැසියක් තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පසුගියදා සාර්ථකව අවසන් විය. දිවයින පුරා විසිරී සිටින අධ්‍යාපන නිලධාරීන් සහ ප්‍රධාන පුහුණුකරුවන් 120 දෙනෙකු දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම වැඩමුළුව සඳහා එක්ව සිටියහ.ඉදිරියේදී දිවයින පුරා සිටින පෙරපාසල් ගුරුවරුන් වෙත ලබාදීමට නියමිත පුහුණු වැඩසටහන් වඩාත් සාර්ථකව මෙහෙයවීම සඳහා අවශ්‍ය වන විශේෂඥ දැනුම සහ පුහුණුකරණ කුසලතා මෙමගින් වර්ධනය කෙරිණි. නව විෂයමාලා රාමුවට අනුකූලව සකස් කරන ලද ගුරු මාර්ගෝපදේශ, ක්‍රියාකාරකම් සංග්‍රහ, ඉගෙනුම් සම්පත් කට්ටල සහ පුහුණුකරු අත්පොත් පදනම් කරගනිමින් මෙහිදී ප්‍රායෝගික පුහුණු සැසි ක්‍රියාත්මක විය.මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රතිපත්තියට අනුකූලව පෙරපාසල් ප්‍රමිතීන් ඉහළ නැංවීම මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණයි. දරුවන්ගේ මොළයේ වර්ධන රටා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගනිමින්, නිර්මාණාත්මක සහ ක්‍රියාකාරකම් මත පදනම් වූ නවීන අධ්‍යාපන ක්‍රමවේද හරහා පෙරපාසල් අධ්‍යාපනය වඩාත් ගුණාත්මක මට්ටමකට ගෙන ඒමට මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.



























