අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ශ්‍රී ලංකාව ථෙරවාද බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රස්ථානය බවට පත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පොසොන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම ඓතිහාසික සිදුවීම හුදු ආගමික අවස්ථාවකට පමණක් සීමා නොවී, මෙරට සංස්කෘතික, සමාජීය සහ දේශපාලනික ක්ෂේත්‍රයන්හි විශාල පරිවර්තනයක් සිදු කළ බවයි. බුදු දහම දායාද කළ අධ්‍යාපනික ප්‍රබෝධය ඔස්සේ පන්සල කේන්ද්‍ර කරගත් දැනුමේ සමාජ මෙහෙවරක් මෙන්ම වාරි කර්මාන්තය සහ කලාව වැනි ක්ෂේත්‍රයන් ඔස්සේ ජාතියේ ප්‍රෞඪත්වය ලෝකය හමුවේ ඔසවා තැබීමට හැකි වූ බවත් ඔහු සිහිපත් කරයි.වත්මන් සමාජය තුළ වියැකී යන සාරධර්ම සහ හර පද්ධතීන් යළි ගොඩනැංවීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ආචාරධාර්මික පදනමකින් තොරව කිසිදු රටකට තිරසාර දියුණුවක් කරා යා නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා, පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ආයතන ඇතුළු සමස්ත සමාජය තුළම ශිෂ්ට සම්පන්නභාවය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව සඳහන් කරයි. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කම සිහිපත් කරමින්, සමාජය පිරිසිදු කිරීමේ අරගලයට සියලු දෙනාගේ සහාය ඔහු අපේක්ෂා කරයි.එබැවින්, බුදු දහමෙන් අපට උරුම වූ අභිමානවත් සමාජ හර පද්ධතීන් යළි ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින් නවීන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්වන ලෙස ජනාධිපතිවරයා ජනතාවට ආරාධනා කරයි. පාරිසරික සහ සමාජීය නව ආකල්ප සහිත රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව ද ඔහු වැඩිදුරටත් සිය පණිවිඩයෙන් පෙන්වා දෙයි.



























