පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 12ක් තාවකාලිකව වැසෙයි

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 12ක් ජූනි 26 වැනිදා සිට ජූලි 02 වැනිදා දක්වා තාවකාලිකව වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. උත්සව සමයේ මහජනතාවගේ සහ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කෙරෙන පොලිස් නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා මෙම විද්‍යාලීය ගොඩනැගිලි ලබාදීමට නියමිතය. මේ පිළිබඳ නිල අනුමැතිය අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.​ඒ අනුව, අනුරාධපුර කලාපයට අයත් මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය, වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, දේවානම්පියතිස්ස විද්‍යාලය, නිවන්තක චේතිය විද්‍යාලය සහ තන්තිරිමලය විමලඤාණ විද්‍යාලය මෙලෙස වසා තැබේ. මීට අමතරව ගලෙන්බිඳුණුවැව කලාපයට අයත් මිහින්තලේ මහා විද්‍යාලය, කම්මලක්කුලම විද්‍යාලය සහ මිහින්තලේ කනිෂ්ඨ විද්‍යාලය ද මෙම කාලසීමාව තුළ වසා තැබෙන බව පළාත් අධ්‍යාපන බලධාරීන් පවසයි.​මේ අතර, පොසොන් සතිය සැමරීම වෙනුවෙන් අනුරාධපුර, මිහින්තලය සහ තන්තිරිමලය යන පූජා භූමි ආශ්‍රිතව විශේෂ සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පොසොන් කමිටුව තීරණය කර ඇත. මේ යටතේ අදාළ ප්‍රදේශවල පිහිටි සියලුම මත්පැන් අලෙවිසල් සතියක කාලයක් වසා තැබෙන අතර, දිස්ත්‍රික්කය පුරා පිහිටි මස් සහ මාළු අලෙවිසල් ද පොසොන් සතිය තුළ වසා තැබීමට උපදෙස් දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,246

Leave A Reply

Your email address will not be published. Required fields are marked *