බන්ධනාගාර තුළ වාර්තා වූ විවිධ සිදුවීම්වලට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් හඳුනාගැනීම සඳහා පුළුල් හා ක්‍රමානුකූල පරීක්ෂණ මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, මීගමුව, මහර සහ කුරුවිට ඇතුළු බන්ධනාගාර ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන පුළුල් කර ඇත.විශේෂයෙන්ම මීගමුව බන්ධනාගාර සිදුවීමට අදාළව රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 1,500කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එහි සිදුවූ ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයින් 61කට අධික සංඛ්‍යාවක් චූදිතයන් ලෙස නම් කර ඇති අතර, අගෝස්තු 21 වැනි දින හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිතය. තවද, මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 925 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර කුරුවිට බන්ධනාගාර පරීක්ෂණ ද මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වේ.මෙම සිදුවීම් පසුපස යම් අන්තර් සම්බන්ධතාවක් හෝ බාහිර පාර්ශ්වවල නීතිවිරෝධී මැදිහත්වීම් තිබේද යන්න සෙවීමට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණ පවත්වයි. අදාළ සිදුවීම්වලට මුල් වූ මූලික හේතු හඳුනාගෙන ඇති බවත්, මින් ඉදිරියට එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



























