බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හත් දෙනෙකු ඊයේ (11) දින වැලිසර පිහිටි නව බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා තහවුරු කළ පරිදි, මෙලෙස මාරු කර ඇත්තේ වෙලේසුදා, දෙමටගොඩ චමින්ද, ලොකුපැටී, මිදිගම රුවන්, බැකෝ සමන්, ආමි සම්පත් සහ මන්නා රමේෂ් යන කුප්‍රකට අපරාධකරුවන් පිරිසකි.මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ සිට මෙම රැඳවියන් විවිධ ජාවාරම් සහ නීතිවිරෝධී මෙහෙයුම් මෙහෙයවන බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වීමයි. මීට අමතරව ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සහ බන්ධනාගාර විනය දැඩිව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සලකා බලා බන්ධනාගාර බලධාරීන් මෙම පියවර ගෙන ඇත.වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද මෙම බන්ධනාගාරය විශේෂිත ආරක්ෂක විධිවිධානවලින් සමන්විත මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. මෙහි රඳවා තැබූ ප්‍රථම රැඳවියන් පිරිස මොවුන් වන අතර, සන්නිවේදන උපකරණ භාවිතය ඇතුළු බාහිර ලෝකය සමඟ පවත්වන සබඳතා සම්පූර්ණයෙන්ම පාලනය වන පරිදි වැලිසර නව රැඳවුම් ඒකකය සැලසුම් කර තිබීම විශේෂත්වයකි.






















