බෙල්ලන්විල 76 වන ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 76 වන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සඳහා වන මූලික සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී පෙරහැරේ සංවිධාන කටයුතු සහ ඒ සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා ගැනීම පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු විය.​මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජූලි මස 25 වැනිදා ආරම්භ වී අගෝස්තු මස 16 වැනිදා දක්වා පුරා සති කිහිපයක් විහාරස්ථාන පරිශ්‍රයේදී සහ වීදි සංචාරය කරමින් පැවැත්වීමට නියමිතය. මහනුවර දළදා පෙරහැරට පසුව මෙරට පැවැත්වෙන විශාලතම සහ ප්‍රමුඛතම සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙන බෙල්ලන්විල පෙරහැර, මෙවර ද රජයේ පූර්ණ මැදිහත්වීම මත පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.​පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය දායකත්වය රාජ්‍ය ආයතන රැසක සහයෝගයෙන් ලබා ගැනීමට මෙහිදී තීරණය විය. ඒ අනුව මහාභාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව මහාභාරකාර දෙපාර්තමේන්තුව, රාජ්‍ය බැංකු පද්ධතිය, ලොතරැයි මණ්ඩල, ටෙලිකොම් ආයතනය, වරාය සහ ගුවන් තොටුපොළ බලධාරීන් මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන ගණනාවක් මේ සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීමට නියමිතව ඇත.​මෙම සාකච්ඡාව සඳහා බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් සහ විහාරාධිකාරි පූජ්‍ය බෙල්ලන්විල සංඝරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ. එමෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ විහාරස්ථ පෙරහැර කමිටුවේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් ද මීට සහභාගී වූහ.​කැස්බෑව සහ බොරලැස්ගමුව නගර සභාවල සභාපතිවරුන් මෙන්ම විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් පෙරහැරේ සාර්ථකත්වය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ. සියලු පාර්ශවයන්ගේ ඒකාබද්ධ උත්සාහයෙන් මෙවර 76 වන ඇසළ පෙරහැර මංගල්‍යය ඉතා සාර්ථකව නිම කිරීමට රජය සහ සංවිධාන කමිටුව ප්‍රතිඥා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,120

Leave A Reply

Your email address will not be published. Required fields are marked *