වෙළෙඳපොළ තුළ පොලී අනුපාත වේගයෙන් ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, පසුගිය බදාදා (10) පැවැති වෙන්දේසියේදී ඉදිරිපත් වූ භාණ්ඩාගාර බිල්පත් ලංසුවලින් 51.2%ක ප්‍රමාණයක් පමණක් පිළිගැනීමට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) පියවර ගෙන ඇත. එහිදී රුපියල් බිලියන 140ක බිල්පත් ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර තිබූ අතර, රුපියල් බිලියන 201ක ඉහළ ඉල්ලුමක් ලැබී තිබුණද අවසානයේදී රජය විසින් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 71.7ක් පමණි. මේ හේතුවෙන් මාස තුනක බිල්පත්වල සාමාන්‍ය අස්වැන්න 10.09% දක්වා ද, මාස හයක බිල්පත් 10.27% දක්වා සහ වසරක බිල්පත් අස්වැන්න 10.16% දක්වා ද සුළු අගයකින් ඉහළ ගොස් තිබේ.මූල්‍ය වෙළෙඳපොළේ ද්‍රවශීලතාවය (Market Liquidity) ඉතා කෙටි කලකදී කැපී පෙනෙන ලෙස පහත වැටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත. පසුගිය මැයි 19 වැනිදා රුපියල් බිලියන 181.68ක් ලෙස සටහන් වූ ද්‍රවශීලතාව, ජූනි 9 වන විට රුපියල් බිලියන 59.2 දක්වා අවම වී තිබේ. මීට අමතරව, මහ බැංකුව විසින් ඉකුත් මාසයේදී ප්‍රතිපත්තිමය පොලී අනුපාත පදනම් අංක 100කින් ඉහළ නැංවීම වෙළෙඳපොළේ ඇති වූ මෙම නොසන්සුන්කාරී ස්වභාවයට මූලික හේතුව බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.වෙළෙඳපොළ තුළ පවතින මෙම අවිනිශ්චිතතාව හේතුවෙන් ඉහළ යන පොලී අනුපාත, දිගුකාලීන ණය පත්‍ර කෙරෙහි බලපෑම් කිරීම වැළැක්වීමට බලධාරීන් උත්සාහ කර ඇත. ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මෙවර වෙන්දේසියේදී කෙටි කාලීන බිල්පත් සඳහා ඉදිරිපත් වූ ලංසු වැඩි වශයෙන් අනුමත කිරීමටත්, දිගුකාලීන ලංසු බහුතරයක් ප්‍රතික්ෂේප කිරීමටත් කටයුතු කර තිබේ. මුල්‍ය ක්ෂේත්‍රයේ පවතින මෙම තිගැස්ම සහ සංකීර්ණ ස්වභාවය සාමාන්‍ය අතට පත්වීම සඳහා තවදුරටත් යම් කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.



























