ගැබිනි මවකගෙන් උපදින දරුවාට වැළඳිය හැකි බෝවන රෝග තුනක් මුළුමනින්ම නැති කිරීම වෙනුවෙන් “ත්‍රිත්ව තුරන් කිරීමේ” (Triple Elimination) විශේෂ ජාතික වැඩසටහනක් ලබන ජුනි මස 01 වැනිදා සිට දීපව්‍යාප්තව ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මීට පෙර මෙරට ක්‍රියාත්මක වූයේ මවගෙන් දරුවාට HIV සහ සිපිලිස් (Syphilis) බෝවීම වැළැක්වීමේ වැඩසටහනක් පමණක් වන අතර, එය සාර්ථකව නිම කිරීම හේතුවෙන් 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ඇගයීම පවා ශ්‍රී ලංකාවට හිමි විය. මෙම නව ව්‍යාපෘතිය යටතේ පෙර පැවති රෝගී තත්ත්වයන්ට අමතරව හෙපටයිටීස් – බී (Hepatitis – B) රෝගය ද හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණ පුළුල් කෙරේ.ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පෙන්වා දෙන්නේ, වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ මවගෙන් දරුවාට HIV සහ සිපිලිස් සම්ප්‍රේෂණය වීම ඉතාමත් අවම මට්ටමක පවතින බවයි. එසේම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා සඳහන් කළේ, මීට පෙර ගැබිනි මව්වරුන් සඳහා හෙපටයිටීස් – බී රෝගය සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂණ සිදු නොකෙරුණු බවයි. එහෙත් ජුනි පළමුවැනිදා සිට ඕනෑම ගැබිනි මවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයක ලියාපදිංචි වන මුල් අවස්ථාවේදීම මෙම විශේෂ රුධිර පරීක්ෂාවට යොමු කෙරේ.ගර්භණී සමයේ මුල් අවධියේදීම මෙවැනි පූර්ව පරීක්ෂණ සිදුකර ගැනීමෙන් උපදින්නට ඉන්නා දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරගත හැකි බව වෛද්‍යවරු අවධාරණය කරති. මාතෘ සංරක්ෂණය සහ ගැබිනි මව්වරුන්ට රැකවරණය සැපයීම අතින් ලෝකයේ ඉහළම සහ විධිමත්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන රටක් ලෙස, ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තබන තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස මෙම නව වැඩසටහන හැඳින්විය හැකිය.

























