මාතර දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් සිදුවන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් විශේෂ මර්දන වැඩසටහනක් අද (14) සාර්ථකව ආරම්භ කෙරිණි. මෙම සුවිශේෂී පියවර ගනු ලැබුවේ පසුගිය 12 වැනිදා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු විශේෂ ඩෙංගු මර්දන කමිටු රැස්වීමේදී එළඹි තීරණවලට අනුවය.ඒ අනුව, පළමු අදියර යටතේ මාතර නගර සීමාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කොට්ඨාස 7ක් සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර පරීක්ෂණ ක්‍රියාත්මක විය. මෙහිදී සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාවට ලක් කළ අතර, මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යමින් ඩෙංගු මර්දන නීති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කර ඇත.මෙම ඒකාබද්ධ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ග්‍රාම නිලධාරීන් සහ ප්‍රජා සංවර්ධන නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටිති. මීට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පළාත් පාලන ආයතන, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙන්ම මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මේ සඳහා පූර්ණ දායකත්වය සපයයි.



























