මැතිවරණය කල් දැමීම රජයේ බිය නිසා සිදුවූවක් බව සජිත් ප්‍රේමදාස කියයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වත්මන් රජය මැලිකමක් දක්වන්නේ ඡන්ද පදනම අහිමි වීම සහ ජනතා විරෝධයට මුහුණ දීමට ඇති බිය නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ මෑතකදී පැවති මැතිවරණවලදී රජයට විශාල ජනවරමක් අහිමි වී ඇති බවයි. ඕනෑම පාර්ශ්වයකට රට තුළ අසීමිත බලයක් ලැබීම හානිකර වන අතර, සමගි ජන බලවේගය සැමවිටම අපේක්ෂා කරන්නේ සාධාරණ බහුතරයක් පමණක් බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.​රජය බලයට පත්වීමෙන් පසු ජනතාව මුහුණ දෙන පීඩාවන් අමතක කර ඇති බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, විශේෂයෙන් ඉන්ධන සහ විදුලි බිල්පත් සඳහා සහන ලබා දීමට පාලකයින් අපොහොසත් වී ඇති බව සඳහන් කළේය. මෙම තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස රජයට බල කිරීම සඳහා තනතුරු තාන්න මාන්නවලින් තොර, සියලු දෙනා ඒකාබද්ධ වන විශේෂ ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට පියවර ගන්නා බවද ඔහු අනාවරණය කළේය.​මේ අතර 13 වැනි සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තම පක්ෂය ඒ සම්බන්ධයෙන් ද්විත්ව ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි. රටේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය සුරකිමින් එය පවතින ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවත්, පළාත් සභා නිසි ලෙස කළමනාකරණය කළහොත් ඒවා රටට බරක් නොවී විශාල ආයෝජන අවස්ථා උදාකරගත හැකි මාර්ගයක් වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *