මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවට සහ මැතිවරණ කොමිෂන් සභාවට පමණක් බවත්, දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට එවැනි බලයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පානදුරේදී පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ අසත්‍ය පොරොන්දු මත බවත්, ලබා දුන් සහන ජනතාවට අහිමි වී ඇති බවත් ඔහු මෙහිදී චෝදනා කළේය.ආර්ථික අර්බුදය හමුවේ උගන්ඩාවේ ඇතැයි පැවසූ ඩොලර් බිලියන 18 පිළිබඳ කාරණය නැවත මතු කළ මන්ත්‍රීවරයා, රටට ඩොලර් අවශ්‍ය මොහොතක එම මුදල් ගෙන ඒමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කළේය. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුවට පැහැදිලි සැලැස්මක් නොමැති බවත්, බදු බර හරහා ජනතාව අසීරුතාවට පත් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන ඇඟිලි ගැසීම් නොකළ යුතු බව අවධාරණය කළ නාමල් රාජපක්ෂ මහතා, සැකකරුවන් සම්බන්ධයෙන් පවතින නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රශ්න කළේය. දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානි නොකරන ලෙසත්, නීතිය සැමට සාධාරණව ඉටු විය යුතු බවත් ඔහු ආණ්ඩුවට සිහිපත් කළේය.



























