දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් මැලේසියානු රජය නව නීති මාලාවක් අද (01) සිට බලාත්මක කර තිබේ. මෙම සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ යූ ටියුබ් වැනි ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාල වෙත දැඩි කොන්දේසි පනවා ඇත. ඒ අනුව මිලියන 8කට වඩා පරිශීලකයින් සිටින සෑම වේදිකාවකම නිසි වයස් සත්‍යාපන පද්ධති (Age-verification systems) ක්‍රියාත්මක කරමින්, අදාළ වයස් සීමාවෙන් අඩු දරුවන්ට ගිණුම් සෑදීම අවහිර කළ යුතු වේ.නව නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කරන තාක්ෂණික සමාගම් වෙත මැලේසියානු රින්ගිට් මිලියන 10ක් (ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක්) දක්වා ඉහළ දඩ මුදල් පැනවීමට ප්‍රතිපාදන සකසා ඇත. කෙසේ වෙතත්, දරුවන් මෙම සීමාවන් මඟහරිමින් රහසිගතව ගිණුම් භාවිත කළහොත් ඒ වෙනුවෙන් දෙමාපියන්ට දඬුවම් පැමිණවීමක් සිදු නොවේ. සයිබර් හිරිහැර සහ හානිකර අන්තර්ගතයන්ගෙන් දරුවන් මුදවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වුවද, වයස් සත්‍යාපනය සඳහා රජයේ හැඳුනුම්පත් භාවිත කිරීමට සිදුවීම නිසා දත්ත පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු මතු විය හැකි බවට විද්වතුන් අනතුරු අඟවයි.තාක්ෂණික සමාගම් පෙන්වා දෙන්නේ මෙවැනි තහනමක් නිසා ළමයින් නියාමනය නොවන වෙනත් අනාරක්ෂිත අන්තර්ජාල කලාප වෙත යොමුවීමේ අවදානමක් පවතින බවයි. කෙසේ වෙතත්, ලෝක මට්ටමින් දරුවන් වෙනුවෙන් මෙවැනි සීමාවන් පැනවීමේ ප්‍රවණතාවක් වර්තමානයේ දැකිය හැකිය. ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය සහ ඉන්දුනීසියාව වැනි රටවල් දැනටමත් මෙවැනි නීති හඳුන්වා දී ඇති අතර, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයක්ම මේ වන විට ඊට සමාන නීති කෙටුම්පත් සකස් කරමින් සිටී.


























