මැලේසියාවේ සමාජ මාධ්‍ය භාවිතය සඳහා ජූනි 1 සිට දැඩි නීති මාලාවක්

තරුණ හා බාලවයස්කාර පිරිස් අන්තර්ජාලය ඔස්සේ සිදුවන විවිධ අනිසි බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මැලේසියානු සන්නිවේදන සහ බහුමාධ්‍ය කොමිෂන් සභාව (MCMC) විසින් ලබන ජූනි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ. ඉහළ අවදානමක් සහිත අන්තර්ජාල සේවා සීමා කරමින් ළමයින්ට වයසට ගැළපෙන ආරක්ෂාවක් සැපයීම මෙම දැඩි පියවරවල ප්‍රධාන අරමුණ වී ඇත. පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාලය හරහා සිදුවන හානිකර ක්‍රියාකාරකම්වල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් රජය මෙම තීරණයට එළඹ තිබේ.​මෙම නව තීරණයට අනුව වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් වේ. මිලියන 8කට වඩා පරිශීලකයින් සිටින ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ යූටියුබ් වැනි ප්‍රධාන පෙළේ සියලුම සමාජ මාධ්‍ය ජාල සඳහා මෙම තහනම එකලෙස බලපැවැත්වෙනු ඇත. බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය අවකාශයෙන් ඈත් කර තැබීම සඳහා මෙම පියවර සෘජුවම දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.​මීට අමතරව හඳුන්වා දී ඇති ‘ළමා ආරක්ෂණ’ සහ ‘අවදානම් අවම කිරීමේ’ කේතයන්ට අනුව, ඉදිරියේදී සියලුම පරිශීලකයින් තමන්ගේ වයස තහවුරු කිරීම අනිවාර්ය කර තිබේ. ඒ සඳහා ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රජය පිළිගත් නිල ලේඛනයක් ඉදිරිපත් කළ යුතු වේ. නව ගිණුම් ආරම්භ කරන්නන්ට මෙන්ම දැනට පවතින ගිණුම් හිමියන්ට ද මෙය පොදු වන අතර, වයස තහවුරු කිරීමට අපොහොසත් වන ගිණුම් අත්හිටුවීමට හෝ වසා දැමීමට කටයුතු කෙරේ. කෙසේ වෙතත්, පවතින ගිණුම් සඳහා මෙම තාක්ෂණය සකස් කර ගැනීමට සමාජ මාධ්‍ය සමාගම් වෙත යම් සහන කාලයක් ලබා දීමට ද රජය තීරණය කර ඇත.​නව නීති මාලාව මඟින් සමාජ මාධ්‍ය සමාගම් වෙත ද දැඩි වගකීම් පවරා තිබේ. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් වෙනස් කරන ලද හෝ ව්‍යාජ ලෙස සකස් කරන ලද අන්තර්ගතයන් නිසි ලෙස ලේබල් කළ යුතු බවට නියෝග කර ඇත. එමෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා වැළැක්වීම සඳහා, අදාළ සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරන වෙළෙඳ දැන්වීම්කරුවන් කවුදැයි නිසි ලෙස තහවුරු කර ගැනීමට ද පියවර ගත යුතුව ඇත.​පරිශීලකයින් විසින් සිදු කරන පැමිණිලි, සයිබර් බුලි කිරීම්, මූල්‍ය වංචා සහ ළමා අපචාර වැනි හානිකර ක්‍රියාකාරකම් වාර්තා කළ සැනින් ඒවා ප්ලැට්ෆෝම්වලින් ඉවත් කිරීමට සමාජ මාධ්‍ය සමාගම් ක්‍ෂණිකව ක්‍රියා කළ යුතුය. මෙවැනි අහිතකර අන්තර්ගතයන් පාලනය කිරීම සම්බන්ධයෙන් මීට වඩා වගකීමකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු කිරීමට මෙමඟින් සමාගම්වලට බල කෙරෙනු ඇත.​මැලේසියාව විසින් මේ වසරේ සිට ‘සමාජ මාධ්‍ය බලපත්‍ර ක්‍රමවේදයක්’ ද ක්‍රියාත්මක කර ඇති අතර, ජූනි 1 වැනිදා සිට බලාත්මක වන මෙම නව නීති මාලාව ළමා ආරක්ෂාව වෙනුවෙන්ම හඳුන්වා දුන් එහි තවත් එක් දිගුවකි. මෙමඟින් සමස්ත සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයම වඩාත් විනිවිදභාවයකින් සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට මැලේසියානු රජය අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 776

Leave A Reply

Your email address will not be published. Required fields are marked *