දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් (මොළේ උණ) වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම රෝගීන්ගෙන් වැඩි පිරිසක් පාසල් සිසුන් වන අතර, ඔවුන්ට වැළඳී ඇත්තේ වෛරස් ආසාදනයක් හේතුවෙන් හටගත් මෙනින්ජයිටීස් තත්ත්වයක් බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළාය. අප්‍රේල් 15 වනදා මාතර දෙණියාය ප්‍රදේශයෙන් මුලින්ම හඳුනාගත් මෙම රෝගී තත්ත්වය පසුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින්ද වාර්තා වී තිබේ.කෙසේ වෙතත්, රෝගය වැළඳුණු බහුතරයක් දෙනා මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති අතර, ඊයේ (31) වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණි. උණ, හිසරදය සහ වමනය මෙම රෝගයේ මූලික ලක්ෂණ වන අතර, වෛරස් මෙනින්ජයිටීස් තත්ත්වයන් සාමාන්‍යයෙන් දින කිහිපයක් ඇතුළත සුව වන බව වෛද්‍යවරු පෙන්වා දෙති. අපිරිසිදු පානීය ජලය මගින් රෝගය පැතිරීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින්, සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව මේ වන විටත් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.මේ හේතුවෙන් නිරන්තරයෙන්ම උණුකර නිවාගත් ජලය පමණක් පානය කිරීමටත්, පාසල් දරුවන් තම ආහාර පාන එකිනෙකා අතර හුවමාරු කරගැනීමෙන් වැළකී සිටීමටත් සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි. එසේම පොදු පානීය ජල මූලාශ්‍රවල පිරිසිදුභාවය ආරක්ෂා කරගැනීමට බලධාරීන් පියවර ගත යුතුය. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කමිටු පත් කර ඇති බැවින්, ජනතාව අනවශ්‍ය ලෙස බියට පත් නොවී සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි ලෙස අනුගමනය කිරීම ප්‍රමාණවත් බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.



























