මෙම වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මැයි මස 30 වනදා ලෙස නියම කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විවිධ මත පිළිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. මෙම තීරණය අත්තනෝමතික ලෙස ගත් එකක් නොව, ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ අනුමැතිය සහ මඟපෙන්වීම යටතේ ගනු ලැබූවක් බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.මහා නායක ස්වාමීන් වහන්සේලාගේ නිරීක්ෂණයට අනුව, වෙසක් පුන් පොහොය දිනය නිවැරදිව යෙදිය යුත්තේ ‘විසා’ නැකත උදාව පවතින දිනයකය. ඒ අනුව සිදු කළ ජ්‍යෝතිෂ්‍යමය සහ ශාසනික නිරීක්ෂණවලින් අනතුරුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශ මත මෙම දිනය ස්ථිර කර තිබේ. මේ පිළිබඳව පසුගිය ජනවාරි මස පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණ ඇති බව සඳහන් වේ.ඒ අනුව, මැයි මස 30 වනදා වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස සමරනු ලබන අතර, මැයි මස 27 වනදා සිට ජුනි මස 02 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම කාලසීමාව තුළ සියලු ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

























