රට පුරාම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් 2027 වන විට ක්‍රියාවට – අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්

2027 වසර වන විට මෙරට පළාත් නවයම ආවරණය වන පරිදි පොදු ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය. මුල් ළමාවිය සංවර්ධනය අනාගත අධ්‍යාපන ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම මූලික අවධානයට ලක්විය යුතු බවත්, පෙර පාසල් අධ්‍යාපනය වඩාත් විධිමත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් ඇය අවධාරණය කළාය.​මෙම අරමුණ පෙරදැරි කරගෙන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මොස්වර්ල්ඩ් මාටිනස් පදනම එක්ව ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහනක් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අද (22) ආරම්භ කෙරිණි. ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්වවිද්‍යාලය හරහා පෙර පාසල් ගුරුවරුන් 500 දෙනෙකුට ඩිප්ලෝමා සහතික පිරිනැමීම මෙහි මූලික අදියරකි. ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක වීමට නියමිත මෙම වැඩසටහන හරහා ගුරුවරුන් දහසකට පුහුණුව ලබාදීම, ආදර්ශ පෙර පාසල් ස්ථාපිත කිරීම සහ ඉගෙනුම් උපකරණ ලබාදීම ඇතුළු පුළුල් පියවර රැසක් සැලසුම් කර ඇත.​පෙර පාසල් දරුවන්ගේ සුබසාධනය සඳහා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ජංගම කියවීම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම ද මෙම ව්‍යාපෘතියේ අංගයන් වේ. මෙම අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන විශේෂඥයින් සහ අදාළ පාර්ශවීය ආයතනවල නියෝජිතයන් සහභාගී වූ අතර, මුල් ළමාවිය සංවර්ධනය ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා නව රජය යටතේ ඉදිරියට ගෙන යන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් විය.

What's your reaction?

Related Posts

1 of 1,201

Leave A Reply

Your email address will not be published. Required fields are marked *