රත්නපුරය දේශීය මැණික් සඳහා පමණක් නොව, විදේශයන්ගෙන් ගෙන එන මැණික් වලටද අගය එකතු කර ලෝක වෙළෙඳපොළට සපයන ප්‍රධාන පෙළේ ගෝලීය මැණික් නගරයක් බවට පත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන අපේක්ෂාව බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පැල්මඩුල්ලේ Grand Silver Ray සංකීර්ණයේදී ඊයේ (31) ආරම්භ වූ “Gem City Ratnapura 2026” අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.මෙම අංශය හරහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක අපනයන ආදායමක් රටට අත්පත් කර ගැනීම රජයේ ඉලක්කය බව ඔහු සඳහන් කළේය. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස පරිසරය සුරැකීම, කර්මාන්තය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම, ළමා ශ්‍රමය සම්පූර්ණයෙන් බැහැර කිරීම සහ විනිවිදභාවය තහවුරු කිරීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, විදේශීය ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ‘Sapphire’ ඇතුළු දේශීය මැණික් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි. එසේම, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය සමඟ අත්වැල් බැඳගනිමින් මෙරටට විදේශ ආයෝජන ගෙන ඒමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ ලංකා මැණික් වෙළෙඳුන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය (LGDMA) එක්ව අඛණ්ඩව තෙවැනි වරටත් සංවිධානය කර ඇති මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඇමෙරිකාව, චීනය, ජපානය, තායිලන්තය, ඉන්දියාව සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් රැසක ආයෝජකයින් හා ගැනුම්කරුවන් පිරිසක් එක්ව සිටිති. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සෘජුවම ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථාව උදාකරදීම මෙම ප්‍රදර්ශනයේ තවත් විශේෂ අරමුණකි.දින තුනක් පුරා ක්‍රියාත්මක වන මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය හරහා දේශීය මැණික් කර්මාන්තයට නව ප්‍රාණයක් ලැබෙනු ඇති අතර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. පී. චමින්ද මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශීය හා විදේශීය ව්‍යවසායකයින් රාශියක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
























