ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර ඇති ප්‍රථම ‘පොලිස් පාපැදි සවාරිය’ අද (01) පෙරවරු 7.30ට කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිස් මූලස්ථානය අසලින් ආරම්භ විය. මත්ද්‍රව්‍යවලින් තොර නිරෝගී තරුණ පරපුරක් බිහි කිරීම, පොලීසිය හා තරුණ ප්‍රජාව අතර අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම තරගය, කිලෝමීටර් 410ක සමස්ත දුරකින් යුක්තව අදියර තුනකින් ක්‍රියාත්මක වේ. පොලිස්පති අභියෝගතා ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන මෙහි සමස්ත ශූරයාට රුපියල් ලක්ෂ තුනක මුදල් තිළගක් සමඟ අභියෝගතා කුසලානය හිමිවන අතර, ජයග්‍රාහකයන් රැසක් සඳහා මුදල් ත්‍යාග සහ විශේෂ සම්මාන පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත.මෙම තරගයේ පළමු අදියර අද කොම්පඤ්ඤවීදියේ සිට පෑලියගොඩ, කුරුණෑගල සහ මැල්සිරිපුර හරහා දඹුල්ල දක්වා කිලෝමීටර් 141ක දුරක් යටතේ පැවැත්වේ. දෙවැනි අදියර හෙට (02) දඹුල්ලෙන් ආරම්භ වී මරදන්කඩවල, අනුරාධපුර සහ නොච්චියාගම හරහා කිලෝමීටර් 137.4ක දුරක් ගමන් කර පුත්තලමින් අවසන් වීමට නියමිතය. අවසන් අදියර අනිද්දා (3) පොලිස් දිනයදා පුත්තලමේ සිට හලාවත, මීගමුව සහ බොරැල්ල හරහා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය දක්වා කිලෝමීටර් 132ක දුරක් ආවරණය කරමින් පැවැත්වේ.මෙම සුවිශේෂී ක්‍රීඩා උළෙල හරහා තරුණයන් සමාජය සමඟ ධනාත්මකව සම්බන්ධ වීමට මෙන්ම නීතිය හා සාමය පවත්වා ගැනීමට දායක වීමට පුළුල් දිරිගැන්වීමක් ලබා දීම අපේක්ෂා කෙරේ. සමස්ත ශූරතාවට අමතරව ස්ප්‍රින්ට් ශූරයා, හොඳම තරුණ ධාවකයා (අවුරුදු 23ට අඩු) මෙන්ම ඒ ඒ අදියරවල දස්කම් දක්වන්නන් සඳහාද විශේෂ ත්‍යාග ප්රදානය කිරීමට නියමිතය.
























