කුරුඳු කර්මාන්තයේ පවතින ගැටලුවලට විසඳුමක් ලෙස, රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ නව කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය එක්ව ක්‍රියාත්මක කරන මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය මේ වන විට ඉහළ නිෂ්පාදන පිරිවැය, සනීපාරක්ෂක ගැටලු සහ ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීම වැනි අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී. විශේෂයෙන්ම මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වගාකරුවන්ට මෙම බාධාවන් නිසා සිය කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම දුෂ්කර වී ඇත. මෙම මධ්‍යස්ථානය මගින් “අපද්‍රව්‍ය ශූන්‍ය” (Zero Waste) සංකල්පය යටතේ නවීන තාක්ෂණය භාවිත කරමින් මෙම අභියෝග ජය ගැනීමට අපේක්ෂා කරයි.මෙම ව්‍යාපෘතිය අදියර හතරකින් යුක්තව මාස 27ක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම නව මධ්‍යස්ථානය තුළින් කුරුඳු සැකසුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ ප්‍රමිතියෙන් යුක්ත කිරීමටත්, එමගින් ගොවීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමටත් කටයුතු සැලසුම් කර තිබේ.























