ලබන වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 2000ක් වෙන් කිරීමට රජයෙන් සැලසුම් – අමාත්‍ය නලින්ද ජයතිස්ස

දේශීය යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් ලබන 2027 වසරේදී රජයේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2000ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් යොදා නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. වත්මන් වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර ඇති රුපියල් බිලියන 350ක මුදල ලබන වසරේදී මෙලෙස ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති අතර, මෙහි මූලික පියවරක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග, පාලම් සහ බෝක්කු සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 200ක සමස්ත ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.​රටේ පවත්නා ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය ආදායම් වර්ධනය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. 2025 සහ 2026 වසරවලදී මෙරට රාජ්‍ය ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ඒ මහතා, පසුගිය වසරේදී පමණක් එය රුපියල් බිලියන 5,500 සීමාව දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කළේය. මෙලෙස රාජ්‍ය ආදායම් ශක්තිමත් වීම තුළින් ජනතාවට සෙත සැලසෙන සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ හැකියාව රජයට ලැබී තිබේ.​ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා කිරීමට පසුගිය වසරේදී සමත් වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, විදේශ ප්‍රේෂණ මෙන්ම සංචාරක ව්‍යාපාරයේ ද කැපී පෙනෙන පිබිදීමක් මේ වන විට පෙන්නුම් කරන බව අවධාරණය කළේය. මෙම ධනාත්මක ආර්ථික දර්ශකයන් හරහා රටේ මූල්‍ය පදනම ශක්තිමත් වී ඇති බැවින්, ඉදිරි වසරේදී මෙරට පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් කරා රැගෙන යාමට රජය පූර්ණ දායකත්වය සපයන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,187

Leave A Reply

Your email address will not be published. Required fields are marked *