ලෝක සාමය පතා ඇරඹි ‘ඒහි පස්සිකෝ’ පාගමන මහනුවරින් මාවනැල්ලට

ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් සංවිධානය කර ඇති “ඒහි පස්සිකෝ” සාම පාගමනේ තෙවන දිනය අද (24) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙම පාගමන සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ විශාල පිරිසක් එක්ව සිටියහ. පාගමන ආරම්භ කිරීමට පෙර අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත් අතර, පත්තිරිප්පුව අභියසදී මහා සංඝරත්නය විසින් විශේෂ පිරිත් සජ්ඣායනයක් ද පවත්වනු ලැබීය.​මෙම සාම පාද යාත්‍රාවට නායකත්වය ලබා දෙන්නේ ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් පුරා දින 110ක දීර්ඝ සාම චාරිකාවක නිරත වූ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නයයි. දඹුල්ලේ සිට කොළඹ ගංඟාරාම විහාරස්ථානය දක්වා සංවිධානය කර ඇති මෙම මෙරට සංචාරයේ තෙවන දිනය වන අද දිනයේදී, පාගමන මහනුවර සිට මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.​මහනුවර නගරයේ සිට මාවනැල්ල දක්වා ගමන් කරන මෙම සාම පාගමනට ගෞරව දැක්වීම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සෑම ජනකොටසකටම අයත් ජනතාව මඟ දෙපසට රැස්ව සිටින අයුරු දක්නට ලැබුණි. ජාති, ආගම් භේදයකින් තොරව පොදු අරමුණක් වෙනුවෙන් ජනතාව දක්වන මෙම උනන්දුව සාමයේ පණිවුඩය සමාජගත කිරීමට මනා පිටුවහලක් වී තිබේ.​මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී. අබේකෝන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. පසුගියදා දඹුල්ලෙන් ඇරඹි මෙම සුවිශේෂී පා ගමන ලබන අප්‍රේල් 28 වන දින කොළඹදී නිමාවට පත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,110

Leave A Reply

Your email address will not be published. Required fields are marked *