ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය සැසිවාරයට සහභාගී වීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ටිමෝර් ලෙස්ටේ වෙත පිටත්ව යයි

ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී හෙට (07) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද (06) දිවයිනෙන් පිටත්ව ගියහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපීය සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්වීමට නියමිත අතර, එය එළැඹෙන 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. පසුගිය වසරේ කොළඹදී පැවති 78 වැනි සැසිවාරයේදී සභාපති ධුරයට පත් වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගන්නා තෙක් මෙවරත් එම ධුරයේ කටයුතු කරනු ඇත. අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්. ශ්‍රීධරන් සහ වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ් ඇතුළු විශේෂඥයන් පිරිසක් මෙම සංචාරය සඳහා එක්ව සිටිති.​විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙවර සමුළුවේ මූලික අවධානය යොමුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන ‘ඩිලි ප්‍රකාශනය’ මෙහිදී සම්මත කර ගැනීමට නියමිතයි. මීට අමතරව, විශ්වීය සෞඛ්‍ය ආවරණ ක්‍රමවේද පුළුල් කිරීම සහ සෞඛ්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.​එපමණක් නොව, සෞඛ්‍ය පද්ධති ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියට කෘත්‍රිම බුද්ධිය (AI) බද්ධ කිරීම සහ ක්ෂය රෝගය ඇතුළු බහු රෝග තත්ත්වයන් කඩිනමින් තුරන් කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කෙරෙනු ඇත. නව නිලධාරීන් තෝරා පෙනී සිටීම ඇතුළු පරිපාලනමය තීරණ රාශියක් ද මෙම පස් දින සැසිවාරය තුළදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,318

Leave A Reply

Your email address will not be published. Required fields are marked *