​ලෝක සෞඛ්‍ය සමුළුවේදී ලංකාව ලැබූ ඇගයීමට දායක වූ නිලධාරීන් ඇගයේ

මවගෙන් දරුවාට එච්.අයි.වී. (HIV) වෛරසය සම්ප්‍රේෂණය වීම සාර්ථකව පාලනය කරමින් ශ්‍රී ලංකාව ලබා ඇති සෞඛ්‍යමය ප්‍රගතිය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබේ. ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී මෙරටට හිමිවූ මෙම සුවිශේෂී ඇගයීම වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය නිලධාරීන් සහ අදාළ අංශ ඇගයීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගත්තේය.​මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය උදෙසා සෘජුවම දායකත්වය සපයන ලද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අමාත්‍යාංශය වෙත කැඳවා තිබිණි. එහිදී ඔවුන් ඉටුකළ විශිෂ්ට මෙහෙවර අගය කළ අමාත්‍යවරයා, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙවැනි ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා අතීතයේ සිටම දීර්ඝ කාලයක් තිස්සේ කැපවීමෙන් ක්‍රියාකළ ප්‍රවීණ නිලධාරීන්වද ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය.​මහජන සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්ව පැවති මෙම තත්ත්වය, වර්තමානය වන විට රට තුළ සමාජීය ගැටලුවක් නොවන මට්ටමට අවම කරගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇත. එමෙන්ම එම යහපත් සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව රට තුළ පවත්වාගෙන යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමිවූ මෙම ගෝලීය කීර්තිනාමය, මෙරට වෛද්‍ය ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,169

Leave A Reply

Your email address will not be published. Required fields are marked *