වත්මන් රජයේ වැරදි ආර්ථික සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට ගොවි ජනතාව සහ කෘෂිකර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මැතිවරණ සමයේදී ගොවීන් හමුවට යමින් වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් ලබාදෙන බවට පොරොන්දු වූ පිරිස්, අද බලයට පත් වූ පසු ගොවියා සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් කටයුතු කරන බව හෙතෙම චෝදනා කළේය.මේ වන විට වී වගාවට අත්‍යවශ්‍ය ගුණාත්මක පොහොර, බීජ, වල් නාශක සහ කෘමි නාශක ඇතුළු යෙදවුම් සාධාරණ මිලකට ලබා දීමට රජය අපොහොසත් වී ඇතැයි පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, තමන්ට සාධාරණ මිලක් ඉල්ලා සිටින ගොවි ජනතාවට විෂයභාර අමාත්‍යවරුන් විසින් තර්ජනය කරන තත්ත්වයක් උදාවී ඇති බවද සඳහන් කළේය.වී ගොවීන්ට අමතරව නුවරඑළිය සහ බදුල්ල වැනි ප්‍රදේශවල බීජ අල හිඟය හේතුවෙන් අල ගොවීන් ද දැඩි අර්බුදයකට මුහුණ දී වගාවෙන් ඉවත් වෙමින් සිටින බව ඔහු පවසයි. මීට අමතරව දිනෙන් දින උග්‍ර වන අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දීමට ද වත්මන් පාලනයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



























