වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර පසුගියදා (16) සිදු වූ දුම්රිය පීලිපැනීමේ අනතුර හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතියට පමණක් රුපියල් මිලියන දෙකකට අධික දැවැන්ත මූල්‍ය හානියක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම බරපතළ අනතුරට මූලික හේතුව වී ඇත්තේ දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් ගලවා ඉවත් කිරීමයි. රුපියල් මිලියන ගණනක විනාශයක් කළ මෙම සාහසික ක්‍රියාව පිටුපස සිටි පුද්ගලයා, එම වටිනා දුම්රිය කොටස් යකඩ බඩුවලට අලෙවි කර ලබාගෙන ඇත්තේ රුපියල් තුන්දහසක් (3,000) වැනි සුළු මුදලක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.අනතුරත් සමඟ දුම්රිය මැදිරියක් මාර්ගය හරහා පෙරළී ගිය අතර, සිද්ධියෙන් පුද්ගලයන් 12 දෙනෙකු සුළු තුවාල ලැබූහ. වනවාසල ප්‍රදේශයේ දුම්රිය මාර්ග තුනක් පිහිටා ඇති අතර, අනතුර හේතුවෙන් ඉන් මාර්ග දෙකකම ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය. කෙසේ වෙතත්, දුම්රිය බලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම මත ඉන් එක් මාර්ගයක ධාවන කටයුතු පසුව යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැනිණි.මේ අතර, මෙම මහා විනාශයට වගකිවයුතු, දුම්රිය මාර්ගයේ ඇණ සහ කොටස් ගැලවූ බවට සැක කෙරෙන ප්‍රධාන පුද්ගලයා පෑලියගොඩ පොලිසිය විසින් වහාම ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගෙන ඇත. වනවාසල සහ කැලණිය දුම්රිය ස්ථාන අතර සීමාවේදී මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදු කර ඇති මොහු, දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව පොලිසිය පවසයි. සැකකරුගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

























