වන අලි තර්ජනයට තිත තියන්න ඇමති වසන්තගෙන් කඩිනම් සැලසුමක්!

ගම්මානවලට වන අලි කඩාවැදීමේ ගැටලුවට කඩිනම් සහ ස්ථිර විසඳුම් ලබාදෙන ලෙස වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වනජීවී නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.​වන සතුන් ගම්වැදීම වැළැක්වීම සඳහා වනගත කලාප තුළම ඔවුන්ට අවශ්‍ය පරිසරය සකස් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ඒ අනුව, වනාන්තර දේශසීමා තුළ අලින් ප්‍රිය කරන බෝග වර්ග වගා කරමින් සුපෝෂණ කලාප ඇති කිරීමටත්, ලැහැබ් තුළ වියළී හෝ විනාශ වී ඇති වැව් සහ ජල මූලාශ්‍ර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත් අවශ්‍ය සැලසුම් වහාම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.​මීට අමතරව, ඉදිරි යළ කන්නයේ වී වගාව ඇතුළු ප්‍රදේශයේ සමස්ත කෘෂිකාර්මික බෝග වගාවන් වන අලි හානියෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ගොවි ජනතාව මුහුණ දෙන මෙම බරපතළ තත්ත්වයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා ප්‍රමාදයකින් තොරව, පෙර සූදානමකින් යුතුව වැඩපිළිවෙළ සකස් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,142

Leave A Reply

Your email address will not be published. Required fields are marked *