වරාය නගරයේදී චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන්ට රැඳවුම් නියෝග

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයන් දෙදෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා රටින් පළායාමට උත්සාහ කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.​පොලිස් විමර්ශනවලට අනුව, වරාය නගරයේදී මසුන් අල්ලමින් සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට වාහන දෙකකින් පැමිණි පිරිසක් පහර දී, එක් අයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත. එම ස්ථානයේ දමාගොස් තිබූ වෑන් රථයක තිබී වායු පිස්තෝලයක් සොයාගැනීමට පොලිසිය සමත් වූ අතර, මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.​පැහැරගනු ලැබූ චීන ජාතිකයාගේ මළ සිරුර පසුව ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබී සොයාගන්නා ලදී. නීතිවිරෝධී මත්පැන් වැටලීමක නිරතව සිටි ඇහැළියගොඩ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට සැකකටයුතු ලෙස සඟවා තිබූ මෙම සිරුර හමුවී ඇති අතර, සිරුර හමු වූ ස්ථානය ආසන්නයේ තිබී මෘත දේහය ගෙන ඒමට භාවිත කළ බවට සැකකෙරෙන මෝටර් රථයක්ද සොයාගෙන ඇත.​අදාළ මෘත දේහය වැඩිදුර පරීක්ෂණ සහ විමර්ශන කටයුතු සඳහා අවිස්සාවේල්ල රෝහල වෙත යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙරළබඩ පොලීසිය වෙත භාරදී තිබේ. මෙයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,252

Leave A Reply

Your email address will not be published. Required fields are marked *