ජාතික හැඳුනුම්පතක් නොමැතිකම හේතුවෙන් රජයේ මාසික වැඩිහිටි දීමනාව අහිමිව සිටි අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ සහන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. වැඩිහිටි ප්‍රජාවට හිමිවිය යුතු සුබසාධන අයිතිවාසිකම් කිසිදු බාධාවකින් තොරව ලබාදීම මෙහි මූලික අරමුණයි.වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන හරහා දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ නංවා ඇති අතර, ප්‍රතිලාභීන් සංඛ්‍යාව මිලියනයක් දක්වා පුළුල් කිරීමට රජය තීරණය කර ඇත. දැනටමත් ලක්ෂ 9කට අධික පිරිසක් දීමනා ලබා ගත්තද, හැඳුනුම්පත් නොමැතිකම නිසා ඉන් බැහැරව සිටින පිරිස පද්ධතියට ඇතුළත් කර ගැනීම සඳහා මෙම මෙහෙයුම දියත් කෙරේ.එබැවින්, සුදුසුකම් තිබියදීත් ලියකියවිලි නොමැතිකම හේතුවෙන් දීමනාව අහිමිව සිටින වැඩිහිටියන් වහාම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස වැඩිහිටි මහලේකම් කාර්යාලය ඉල්ලා සිටී. මෙම ක්‍රියාවලිය මගින් පරිපාලනමය ගැටලු විසඳා වැඩිහිටියන්ගේ ජීවන තත්ත්වය වඩාත් ස්ථාවර කිරීමට අපේක්ෂා කෙරේ.



























