ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වැලිසර කිරි සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ එහි මෙහෙයුම් කටයුතු නවීකරණය කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැති සාකච්ඡාවකදී, මෙම මධ්‍යස්ථානය සතු සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කරමින් සංවර්ධනය කිරීමට අවශ්‍ය මූලික සැලසුම් සකස් කෙරිණි.අතීතයේ සාර්ථක ගොවිපොළක් ලෙස ක්‍රියාත්මක වූ වැලිසර පරිශ්‍රය, පසුගිය කාලසීමාව තුළ නිසි අවධානයට ලක් නොවීම හේතුවෙන් යම් පරිහානියකට ලක්ව තිබූ අතර වර්තමානයේ එහි ක්‍රියාත්මක වන්නේ කිරි සැකසුම් මධ්‍යස්ථානය පමණකි. එහි පවතින විශාල භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් මේ වන විට ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති බැවින්, එම ඉඩම් ද ඇතුළත් වන පරිදි සමස්ත මධ්‍යස්ථානයම පුළුල් කිරීමට මෙහිදී තීරණය විය.ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදන කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති ඉහළ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින්, දෛනික කිරි නිෂ්පාදන ධාරිතාව කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. මීට පෙර දිනකට ලීටර් 9,000ක්ව පැවති නිෂ්පාදනය මේ වන විට ලීටර් 19,000 දක්වා ඉහළ නංවා ඇති අතර, වැලිසර මධ්‍යස්ථානය නවීකරණය කිරීම හරහා මෙම ධාරිතාව තවදුරටත් වැඩිකිරීමට අපේක්ෂිතය.පාරිභෝගිකයින් වෙත ගුණාත්මක කිරි සහ කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන වැඩි වශයෙන් සැපයීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙන්ම වත්තල ප්‍රාදේශීය සභාවේ පූර්ණ සහයෝගය ලබාදීමට නියමිතය. තාක්ෂණික නවීකරණයන් සමඟ මධ්‍යස්ථානය දියුණු කිරීම හරහා දේශීය කිරි කර්මාන්තයට නව ජවයක් එක් කිරීමට බලධාරීන් මෙහිදී එකඟතාව පළ කළහ.මෙම අවස්ථාවට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී. සී. එස්. පෙරේරා, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති බ්‍රිහාන් ආබ්ඩීන් සහ උප සභාපති රෝහිත සේරම් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීම හරහා ප්‍රදේශයේ ආර්ථිකයට මෙන්ම ජාතික නිෂ්පාදනයට ද සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
























